ගුප්තදේව කතාමහනුවර

මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය සහ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ දේව ශාපය

මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව අතීත කතා ගැන කියවනකොට සහ විස්තර හොයනකොට විවිධ පැති වලට විහිදුණු කරුණු කාරණා රාශියක් දැනගන්න ලැබුණා . ඒ කතාවලින් එකක් තමයි අද ලිපියේ මම සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ . මේ කතාව එක්ක මට මතක් වුණා මම ඉස්සෙල්ලම මහනුවර කතරගම දේවාලයට ගියපු දවස . 2018 02 15 දා තමයි මම ඉස්සෙල්ලම මහනුවර කතරගම දේවාලයට ගියේ . වැඳ පුදා ගන්නා අරමුණෙන් වගේම කතරගම දේවාලය කියන්නේ කොහොම තැනක්ද කියලා බලාගන්න ලොකු උවමනාවක් තිබුණා .

මාළිගා සංකීර්ණයේ සතරමහා දේවාල වලින් දේවාල තුනක් විතරයි ස්ථාපිත වෙලා තියෙන්නේ . පැරණි රජමාළිගාව ඉදිරිපිට තරමක් උස් භූමියක විෂ්ණු දේවාලය පිහිටලා තියෙනවා . නාථ දේවාල සංකීර්ණයේ පිහිටලා තියෙන්නේ නාථ දේවාලය සහ පත්තිනි දේවාලය විතරයි . එතකොට කෝ කතරගම දේවාලය . මම මුලින්ම හිතාගෙන හිටියේ දේවාල හතරම පිහිටලා තියෙන්නේ දළදා මාළිගාව ආසන්නයේමයි කියලා .

ඒත් කතරගම දේවාලයක් පේන්න තිබ්බේ නැති නිසා හොයලා බලනකොට තමයි දැනගත්තේ කතරගම දේවාලය පිහිටලා තියෙන්නේ මාළිගා සංකීර්ණයෙන් පිටතට වෙන්න කොටුගොඩැල්ල වීථියේ පිහිටි භූමියක කියලා . දවසක් නුවර නගරයේ ඇවිද ඇවිද ඉන්නකොට අපි කතරගම දේවාලය පැත්තට යමු කියලා ගියා කතරගම දේවාලයට .

නුවර ප්‍රදේශය සාමාන්‍යයෙන් දෙමළ ජනතාව ජීවත්වෙන ප්‍රදේශයක් නිසා මම හිතාගෙන හිටියේ කතරගම දේවාලයත් ද්‍රවිඩ පෙනුමක් ඇතුව හදලා තියෙන දේවාලයක් වෙන්න ඇති කියලා . ඒත් කතරගම දේවාලයත් ඉදි කරලා තියෙන්නේ මහනුවර යුගයේ වෙනත් දේවාල නිර්මාණය කරලා තියෙන වාස්තු විද්‍යාත්මක සැළැස්මට සමානකමක් දක්වන ආකාරයටම තමයි .

 

 

 

 

( 1707 ජුනි 4 – 1739 මැයි 13 ) කාලයේ රජකරපු කුණ්ඩසාලේ කුමාරයා , එහෙමත් නැත්නම් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සේ සිංහල රජ පෙළපත අවසාන වෙනවා . විජය රජතුමාගේ ඉඳලා නොයෙක් හැලහැප්පීම් වලට ලක්වෙමින් පැවතගෙන ආව රජපෙළපත , අවසානයේදී නායක්කාර් වංශිකයින් අතට පත්වෙනවා . පළවෙනි නායක්කාර් වංශික රජතුමා වෙන්නේ විජය රාජසිංහ රජතුමා . විජය රාජසිංහ රජතුමාට පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ , රාජාධිරාජසිංහ සහ අවසානයේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජවරු පිළිවෙලින් රජ බවට පැමිණියා .

මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය ඇදී යන්නේ විජය රාජසිංහ රජතුමාගේ කාලයට . විජය රාජසිංහ රජතුමා රජවෙනකොටත් ලංකාවේ කතරගම දෙවියන් ඇදහීම අරුමයක් නෙවෙයි . මොකද රුහුණු කතරගම මහා දේවාලය ඒ කාලයේත් පැවතුන නිසා . ඒත් උඩරට ප්‍රදේශයේ කතරගම දේව ඇදහීම සාමාන්‍යයෙන් ප්‍රචලිත වුණා කියලා කියන්නේ ක්‍රිස්තුවර්ෂ 1400 ගණන්වලදී . විජය රාජසිංහ රජතුමාගේ කාලය වෙනකොට මේ කතරගම දේව ඇදහීම වඩාත් ප්‍රචලිත වෙලා තිබිලා තියෙනවා උඩරට ප්‍රදේශයේත් . සමහරවිට මේකට හේතු වෙන්න ඇත්තේ උඩරට රජවරු ඉන්දීය රාජකුමාරිකාවන් සමග විවාහ වීම . ඒවගේම තමයි කෝට්ටේ යුගයේදී ලංකාවේ තරමක් වැඩියෙන් පැතිරුණු බ්‍රාහ්මණ ඉගැන්වීම් සහ බ්‍රාහ්මණයින් නිසාත් මේ කතරගම දේව ඇදහීම ප්‍රචලිත වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් .

කොහොමහරි අද වෙනකොට කොටුගොඩැල්ල වීථියේ පිහිටලා තියෙන සතරමහා දේවාලවලින් එකක් වන මේ කතරගම දේවාලය නිර්මාණය කරා කියල කියන්නේ විජය රාජසිංහ රජතුමා . විජය රාජසිංහ රජතුමා විවාහ වෙන්නේ ඉන්දීය කුමාරිකාවක් සමහ . ඒ නිසා ඉන්දියාවේ ඉඳලා මේ කුමාරිකාව එක්ක කතරගම දෙවියන්ගේ දේව ප්‍රතිමාවකුත් ලංකාවට ලැබිලා තියෙනවා .

 

 

දේව ප්‍රතිමා තැම්පත් කෙරෙන්නේ දේවාලයක . ඒ නිසා මේ කතරගම දේව ප්‍රතිමාව තැම්පත් කරන්න දේවාලයක් හදන්න අවශ්‍ය වුණා . අද කාලේ දේවාල හදනවා වගේ නෙවෙයි ඒ කාලේ දේවාල හදලා තියෙන්නේ . ඉර හඳ පවතිනා කාලයක් දක්වා පවතින විදියට ජය භූමියක් තෝරලා තමයි සාමාන්‍යයෙන් ඒ කාලයේ දේවාල හදලා තියෙන්නේ . මේ ජය භූමිය සෙවීම භාර වෙන්නේ මාලිගාවේ මංගල හස්ති රාජයාට . හස්ති රාජයාට හොඳට කන්න බොන්න දීලා , වතාවත් කරලා , දෙවියන්ට භාර කරලා ඇතා කැමති දිහාවක යන්න ඇරලා නිදහස් කරනවා . ඊට පස්සේ ඇතා නැවතිලා දල බිම අණින සලකුණෙන් තමයි ජය භූමිය මොකක්ද කියලා තීරණය කරන්නේ .

විජය රාජසිංහ රජතුමාත් මේ පිළිවෙත අනුගමනය කරලා තමන්ගේ මංගල හස්තියා ඒ විදියට නිදහස් කරලා ඒ මාර්ගයෙන් ස්ථානයක් තෝරාගන්නවා . අද නුවර සාමාන්‍යයෙන් ඇවිදින්න කියලා කිසිම තැනක් නැහැ . ඒවගේම තමයි ගහක් කොලක් වත් ලොකුවට ඉතුරු වෙලා තියෙන තැනක් විතරයි නිදහස් තැනකට තියෙන්නේ . ඒකාලයේ එහෙම නෙවෙයි . වැඩි හරියක් තිබිලා තියෙන්නේ කැලෑ බද ප්‍රදේශ . මේ ප්‍රදේශ පසුකරගෙන මගුල් ඇතා ගිහින් අද ඔය කොටු ගොඩැල්ල වීථියේ කතරගම දේවාලය තියෙන තැන නැවතිලා තියෙනවා . ඇතාගෙන් ලැබුණු සලකුණ අනුව කොටුගොඩැල්ල වීථියේ එදා තිබුණු විශාල උණ පඳුර ආසන්නයේ තමයි අද ඔය කතරගම දේවාලය ඉදිකරලා තියෙන්නේ .

එහෙම දේවාලය ඉදි කරලා පූජකයින් පත් කරලා කතරගම දෙවියන්ට ඒ දේවාලය කැප කරලා තමන්ගේ බිසව සමග දෑවැද්දට ලැබුණු කතරගම දේව ප්‍රතිමාව ඒ දේවාලයේ තැම්පත් කරනවා . එදා ඉඳලා වසර දෙසිය පනහකට ආසන්න කාලයක් මේ දේවාලය අද දක්වා පැවතගෙන එනවා .

කතරගම දේවාලයක් වුණත් හරිම නිකලංක පරිසරයක් මේ දේවාලයේ තියෙනවා . ඒවගේම තමයි බෞද්ධ ආගමට මූලිකත්වය දීලා දේවාලය ඇතුලේ ස්වාමීන් වහන්සේලා වැඩ වසන විහාරයකුත් පවතිනවා . අපේ මාතෘකාවට අනුව වැදගත්ම කතාව ඊට පස්සේ තමයි තියෙන්නේ .

විජය රාජසිංහ රජතුමාගෙන් පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජාධිරාජසිංහ රජවරු රජවෙලා ඊට පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වෙනවා .ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වුණාට පස්සේ රජතුමාත් කලින් රජවරු වගේ දළදා වහන්සේගේ භාරකාරීත්වය ලබාගන්න බුදු දහම වැළඳගත්තා . ඒත් හින්දු දෙවියන් ඇදහීම නතර කරන්නේ නැහැ . නුවර වැව සාදවන කටයුත්තේදී මල්වත්ත සමග ඇතිකරගන්නා හිත නොහොඳ වීමත් ඇතුව රජතුමා ගැටළුකාරී පරිසරයක රාජ්‍ය පාලනයත් කරගෙන ගියා .

 

 

කොහොමහරි මේ කාලෙත් කතරගම මහ දේවාලයේ හාස්කම් එහෙම තිබිලා තියෙනවා . ඔය ගැන ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ පවා ප්‍රචලිත වෙලා තිබිලා තියෙනවා . ඉන්දියාවේ ඒ වෙනකොට ජීවත් වුණ මහා රාජා වරයෙකුගේ දරුඵල සම්බන්ධව ප්‍රශ්නයක් නිසා දරුවන් ලබා ගැනීමට දෙවියන්ට භාර වෙන්න මේ මහා රාජා වරයා ලංකාවට එනවා . ඇවිත් භාර වෙන්නේ තමන්ට දරුවන් ලැබුණොත් වැඩිමල් දරුවා කතරගම දේවාලයට පූජා කරනවා කියලා . සාමාන්‍යයෙන් අද වුණත් දරුවන් දේවාල වලට පූජා කරනවා . ඒත් දරුවන් දේවාලවල නවත්තලා යන්නේ නැහැ . ඒත් ඒකාලයේ දරුවන් දේවාලවල නවත්තලා යන තත්වයක් තිබිලා තියෙනවා .

මේ මහා රාජාවරයාගේ බිරිඳටත් දරුවන් ලැබුණාට පස්සේ මහාරාජාවරයා තමන්ගේ පළවෙනි දරුවා ව ඒ කියන්නේ වැඩිමහල් දියණියව දේවදාසියක් විදියට මහනුවර කතරගම දේවාලයට පූජා කරනවා . විශාල දේපළක් දේවාලයට පූජා කරා වගේම තමයි මේ දැරිවියගේ රැකවරණයට අයත් මේ මහා රාජාවරයා දේවාලයේ නවත්තනවා . ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජකම් කරන කාලයේදී මේ දේවදාසිය තරුණ වියේ පසුවෙන කාලය . මේ තරුණිය තමන්ගේ පිරිසිදු ජීවිතය දෙවියන් වෙනුවෙන් කැප කරලා තිබුණත් බයෙන් තමයි ඒ කාලයේ ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හසුවෙයි කියලා . ඒ නිසා රජතුමාට තියා පිටස්තර කිසිම කෙනෙක්ට පේන්න මේ තරුණිය දේවාල භූමියෙන් පිටතට ඇවිත් නැහැ .අවසානයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දැනගන්නවා මේවගේ රූමත් තරුණියක් කතරගම දේවාලයේ ඉන්නවා කියලා .

රජතුමා දේවාලයට පණිවිඩ පිට පණිවිඩ යවලා තියෙනවා දේව දාසියව තමන්ගේ මාළිගාවට එවන්න කියලා . ඒත් කතරගම දේවාලයේ ප්‍රධාන පූජක තුමා පණිවිඩ නැවත හරවලා යවනවා දේව දාසියව දේවාලයෙන් පිටමං කරන්න බැහැ කියලා . පස්සේ රජතුමා අධිකාරම් වරයෙක් ලවා සේනාවක් යවනවා දේවදාසිය රැගෙන එන්න කියලා . ඒත් දේවදාසිය රැගෙන යන්න බැරි වෙනවා . ඊට පස්සේ දේව දාසිය රාත්‍රී කාලයේ දී පැහැරගෙන යන්න සේනාවක් යනවා . ඒ හැමෝම උදේ බලනකොට දේවාලයේ වාහල්කඩ ළඟ ලේ වමනේ දාගෙන මැරිලා වැටිලා ඉඳලා තියෙනවා .

අවසානයේදී දේවදාසිය රජු විසින් බලහත්කාරයෙන්ම කෙළසීමට ලක් කරනවා . මේ නිසා දෙවියන්ගේ උදහසට රජතුමා ලක් වුණා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ . ඊට පස්සේ සති දෙකක් ඇතුළත උඩපිටියේ ගම්මහගේ නිවසේදී රජතුමා ඉංග්‍රීසින් ට කොටු වුණා කියලාත් කියනවා . කාල සීමාවක් එක්ක බලනකොට යම් පරස්පර තාවයන් තිබුණත් මේ කතාව මේ විදියට තමයි පැවත එන්නේ . සති දෙකක් ඇතුළත සිංහාසනය කඩා වැටුණා කියලා .

දේවදාසිය තමන්ගේ අපවිත්‍ර වූ චරිතයත් එක්ක නැවතත් දේවාළයටම යනවා . දේවාළයේ අනිත් දේව දාසියන් භාරව කටයුතු කරන නිලධාරිණිය විදියට මේ දේව දාසිය තමන්ගේ මුළු ජීවිත කාලයේම දේවාලයේ ගත කරා කියල තමයි සඳහන් වෙන්නේ .

ඒ එක්කම තවත් දෙයක් මෙතනදීම මතක් කරන්න ඕන . ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉන්දියාවේ එළිමහන් සිරකඳවුරක කාලය ගත කරලා අවසානයේ මිය යනවා . ඒත් එතුමාට මතක වස්ත්‍ර පූජා කිරීම වත් පැන් වඩා පිං දීමේ චාරිත්‍රය වත් ඉටු කෙරුණේ නැති නිසා එතුමා තවමත් පිං ගැනීමේ අවශ්‍යතාවයෙන් සහ මහනුවර ආරක්ෂා කරමින් නුවර වැවේ දියතිලක මණ්ඩපය සහිත දූපතේ ඉඳ හිට දෘශ්‍යමාන වෙනවා කියලාත් එතුමාව දැක්ක සමහර උදවිය ඒ කාලයේ ඉඳලා තියෙනවා කියලාත් කියනවා .

අද වෙනකොට නම් නුවර තියෙන විදියට රජතුමා තියා රජතුමාගේ කුස්සියේ උයපු උන් වත් වැවෙන් මතුවෙයි කියලා හිතන්න බැහැ . නගර සංවර්ධනය කියලා නරියට කුකුල්ලු භාර දුන්නා වගේ තමයි නුවර අලංකාර කරන්නේ . හවස දකින ගස් උදේ වෙනකොට රහත් වෙලා . දවසෙන් රහත්වෙන මිනිස්සු ඉන්න රටක ගස් රහත් වීම අරුමයක් නෙවෙයි කියලා හිතාගෙන මේ ලිපිය මෙතනින් අවසාන කරනවා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

විශේෂ ස්තූතිය – වයලීනි

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය සමග සම්බන්ධ වීමට පහත image එක මත Click කරන්න

  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .
  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන්
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්
    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක්
  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ
  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත්
  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා
  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ

2 thoughts on “මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය සහ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ දේව ශාපය

  1. දැන් මෙතන මට පොඩි ප්‍රශ්නයක් ඇති වුනා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් කළේ නැති හේතුවෙන් එහෙම පින් ගන්න මතු වෙනව නම් වෙනත් ආගම් වල සිය දහස් ගානක් එහෙම මතු වෙන්න ඕනෙ නේද? මොකද එයාගෙ ඇදහීම් විස්වාස මොනව වුනත් ලෝක ධර්මතාව අනුව හැමෝම එකම තත්වෙකට පත් වෙන්න ඕනෙ කියලයි මට නම් හිතෙන්නෙ..

    1. වෙනත් ආගම්වල මිනිස්සු මතු වෙන්නේ නැත්තේ එයාලාගේ ආගම්වල එහෙම සිරිතක් නැති නිසා . මොකද එහෙම සිරිතක් තියෙනකොට ජීවත් වෙලා ඉන්න කාලයේ එයාලාගෙ ඔලුවේ ඒක තදින් කාවදින නිසා මැරුණට පස්සේ එහෙම දෙයක් වෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා බෞද්ධ අය . මෙතනත් තියෙන්නේ එහෙම දෙයක් . රාජසිංහ නායක්කාර් උනාට දැකලා තියෙනවද එයාගේ සිංහල අකුරු . හරිම රවුම් නියම සිංහල අකුරු ලියන ආගම දහම ඉගෙන ගත්ත කෙනෙක් රාජසිංහ කියන්නේ . ඒ නිසා එයා මේ දේ බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *