vaastu වාස්තුජ්‍යෝතිෂ විද්‍යාවදේව කතා

ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය

 

බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත් වග කියන්න ඕන . ඒත් ඒවා විවේචනය ගිහියන්ට නොකටයුතු දෙයක් නිසා එතනින් පරිබාහිරව ඉඳගෙන මගේ කතාව මම පටන් ගන්නවා . ලිපියේ මාතෘකාව ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය සම්බන්ධව . ඊට කලින් මට යමක් කියන්න මතක් වුණා .

බලන්න අද කාලේ කොඩි කියනකොට මතක් වෙන්නේ මොනවද කියලා . පන්සලක බෝධියක් ළඟට ගියාම බෝධියේ අතු ඉති හැම එකකම කොඩි එල්ලලා . ඒවා කොඩි නෙවෙයි බැනර් . ඊට හපන් බැනර් වලට වඩා තියෙන දේවල් බලනකොට . කොඩි බැනර්මත් නෙවෙයි දැන් දැන් බෝ ගස්වල දකින්න තියෙන්නේ . අහවලාගේ අර අපල දුරුවේවා කියලා ප්‍රින්ටවුට්ස් අරගෙන ඒවා ලැමිනේට් කරලා එල්ලලා තියෙනවා . මොන විහිළුවක්ද මේ ? කියලා හිතෙනවා වෙලාවකට .

ප්‍රාර්ථනා ශක්තිය ඇත්තටම බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි . ඒත් මේවගේ නාම පුවරු ප්‍රදර්ශනය කරන තැනක් නෙවෙයිනේ බෝධි මලුව කියලා කියන්නේ . බෝධි මලුව හිත සන්සුන් කරන තැනක් වෙන්න ඕන .

බෝධිය කියන්නේ බුදුන්වහන්සේගේ පාරිභෝගික වස්තුවක් . අපිට ගිහින් වන්දනා කරන්නවත් ඉන්දියාවේ මුල්ම බෝධීන් වහන්සේ අද වෙනකොට එතන නැහැ . ඒත් අපි වාසනාවන්තයි ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාව ; ශ්‍රීමහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ වැඩ ඉන්න නිසා . ඒ බෝධීන් වහන්සේගෙන් ලබාගත්ත ඵල සහ ඒ ඵල වලින් හටගත් බෝධීන් වහන්සේලාගේ ඵල වලින් ලබාගත් බෝධීන් වහන්සේලා තමයි දැන් ඔය පන්සල්වල රෝපණය කරලා තියෙන්නේ .

වෘක්ෂ වන්දනාව බෝධි වන්දනාවෙන් ප්‍රතිස්ථාපනය කරපු මිහිඳු හාමුදුරුවෝ මේ බෝධි ශාඛා ලංකාවේ එක එක තැන්වල රෝපණය කරන්න කියලා කිව්වේ දුර ඉන්න අයට බෝධිය වන්දනා කරන්න අවස්තාවක් ලැබෙන්නේ කලාතුරකින් නිසා . ඒ නිසා එයාලට එයාලගේ ගම්වල තියෙන පන්සලේ බෝධිය වැඳලා ශ්‍රී මහා බෝධියට කරන සැලකිල්ල කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා . ඒ එක කතාවක් .

අනිත් කතාව තමයි බෝධියකට අරක්ගත්ත දෙවියන් ඉන්නවා . දෙවියන්ට කරන පුද සත්කාර තමයි සාමාන්‍යයෙන් බෝධි පූජාවකදී කරනු ලබන්නේ . නැතුව බෝ ගහට පූජාවල් කරා කියලා අපිට යමක් ලැබෙන්නේ නැහැ . බෝධියට අරක්ගත්ත යම් යම් දිව්‍ය කොට්ඨාස තමයි අපිට පිහිටක් වෙනවානම් වෙන්නේ . ඒ නිසා ඒ දෙවියන්ට කරන සැලකිල්ලක් තමයි බෝධි පූජාවෙන් කරන්නේ .

ඉතින් මේදේවල් එක්කම මම එන්නම් ඇයි අද මම මේ මාතෘකාව ගැන ලියන්න හිතුවේ කියලා . ජන්ම පත්‍ර පරීක්ෂා කරන අවස්ථා වලදී යම් යම් අපල තත්ව වලට මම කියනවා සහ කියලා තියෙනවා කොඩියක් පූජා කරන්න මෙන්න මේ පාටින් කියලා . කීයෙන් කීදෙනාද මේ දේ හරියටම අනුගමනය කරන්නේ . කොඩියක් පූජා කරන්න කිව්ව ගමන් කරන්නේ ගිහින් රෙද්දක් එල්ලනවා බෝධියේ , මෙයාගේ මෙන්න මේ අපල දුරුවේවා කියලා .

එහෙම කරා කියලා වැඩක් නැහැ . බෝධියට කොඩියක් එල්ලගෙන ඉන්නවා කියන එකෙන් වෙන්නේ වේදනාවක් ඇති කිරීමක් . බෝධියේ බෝ අත්තට අපි වේදනාවක් ඇති කරනවා . ඉතින් බෝධියෙන් අපිට කිසිම ආකාරයක සෙතක් වෙයිද ? . කෙරෙන්න ඕන ඒ කොඩියෙන් අනුන්ට සෙවනක් ලැබීම . ඔන්න ඔය නිසා මම කල්පනා කරා කොඩි පූජා කිරීමේ සහ කොඩියක බලය කොයි තරම්ද කියලා කියන්න පුළුවන් පැරණිම අවස්ථාව සම්බන්ධ කරලා මේ ලිපිය ලියන්න .

ලංකාවට තියෙනවා කොඩියක් . වෙනත් රටවල් වලටත් තියෙනවා කොඩි . ඒවගේ තමයි යම් යම් ආයතන වලට වගේම යම් යම් දේවල් සංකේතවත් කරන්නත් කොඩි තියෙනවා . ඕනෑම කෙනෙක් තමන්ගේ බලය පරාක්‍රමය සංකේතවත් කරන්න ඒ කාලේ ඉඳලාම කොඩි පාවිච්චි කරලා තියෙනවා . කුරු පාණ්ඩව යුද්ධයේදී කියවෙන කුරු කුල වංශිකයින්ට තියෙනවා ඒ අයටම අනන්‍ය වෙච්ච කොඩි සමූහයක් . විෂ්ණු දේවාලයේ කතාවල කියවෙන දේවරාජ ප්‍රතිකඩයත් ඒවගේ කොඩියක් .

ඒ වගේම තමයි දෙවියනුත් කොඩි පාවිච්චි කරලා තියෙනවා . ඒක අපි නෙවෙයි කියන්නේ . බුද්ධ දේශනාවේම සඳහන් වෙනවා .

ලිපියට මම ප්‍රධාන වශයෙන්ම දායක කරගත්තේ ධජග්ග සූත්‍රය . මේ ධජග්ග සූත්‍රයේ කියලා තියෙන්නේ සුර අසුර යුද්ධය සහ ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන වෙනත් දෙවිවරුන් ඒ යුද්ධයේදී තමන් තමන්ගේ කොඩි පාවිච්චි කරපු බවත් ඒවායේ ඇති බලයේ ප්‍රමාණය සහ ඊට වඩා වැඩියෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම තියෙන බලය තියෙනවා කියන එකයි .

බුදුන් වහන්සේ මේ කතාව තමන්ගේ දේශනාවට උදාහරණයක් විදියට යොදාගැනීම මමනම් දකින්නේ ත්‍රිවේදයේ පරිපූර්ණ දැනුමැති මහා පුරුෂයෙක් තමන්ගේ ශ්‍රාවක සමූහයාට ඒ වෙනකොට තිබ්බ වෛදික ශාස්ත්‍රය උපයෝගී කරගෙන ඒ හරහා තමන්ගේ දර්ශනය කාවැද්දවීමක් විදියට .

මොකද ඒ වෙනකොට ඉන්දියාවේ වෛදික අධ්‍යාපනය තමයි මූලිකව තිබුණේ . ඒ නිසා සුර අසුර යුද්ධය වගේ දේවල් ඒඅය ඉගෙන ගන්නවා . ඒවගේ දේවල් උදාහරණයට අරගෙන ධර්මය ඒ හරහා දේශනා කරනකොට ඕනෑම කෙනෙක්ට ඒක අවබෝධ කරගන්න පහසුවක් තියෙනවා .

ඉතින් මෙන්න මෙහෙමයි ධජග්ග සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ සහ අනිත් ප්‍රධාන දෙවිවරුන්ගේ කොඩි සම්බන්ධව .

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

මෙන්න මේ විදියට ඒ ඒ දෙවිවරුන්ගේ කොඩි ගැන විස්තර කරලා තියෙනවා . ඒවගේම ඒවා බැලුවාම බය නැතිවෙනවා හෝ නැති නොවෙනවා කියලා දේශනා කරලා තියෙනවා .

බය නැතිවීම වෙනවා කියලා ශක්‍රයා විශ්වාස කරපු නිසා තමයි එයා කියලා තියෙන්නේ ඒ ඒ අයගේ කොඩි දිහා බලන්න තමන්ගේ බය නැතිවෙනවා කියලා .

මේ කතාවට සම්බන්ධ ශක්‍රයාගේ කොඩිය ගැන වේද ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා . ඒ කොඩිය ගැන ජ්‍යෝතිෂ විද්‍යාවේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධව ලියවිලා තියෙන කොටස්වල සහ පළාපල කියවෙන කොටස්වල සඳහන් වෙලාත් තියෙනවා .

ජ්‍යෝතිෂ විද්‍යාවේ උන්නතිය උදෙසා ඉමහත් සේවාවක් කරපු ශක රජතුමාගේ රාජසභාවේ හිටපු වරහාමිහිර ආචාර්යවරයා තමන්ගේ ප්‍රධානතම ජ්‍යෝතිෂ ග්‍රන්ථය වන බෘහත් සම්හිතාවේ 43වෙනි අධ්‍යායේ මේ ශක්‍රයාගේ ධ්වජය හෙවත් ඉන්ද්‍රධ්වජය සම්බන්ධව යම් සටහනක් තියලා තියෙනවා . මමනම් විශ්වාස කරන්නේ කොඩියක තියෙන බල පරාක්‍රමය සහ බලය මොකක්ද කියලා තේරුම්ගන්න තියෙන පැරණිතම කතාව තමයි මේ සුර අසුර යුද්ධය සහ ඉන්ද්‍රධ්වජය සම්බන්ධ කතාව කියලා . මෙන්න මෙහෙමයි ඉන්ද්‍රධ්වජයේ කතාව .

දැන් සුර අසුර යුද්ධය තිබිලා සුරයෝ පැරදුනා . ඒක තියෙනවනේ බුද්ධ දේශනාවේත් . පැරදිලා පලායන ශක්‍රයා කිව්වා කියලා මාතලීට පරෙස්සමෙන් රථය පදවන්න කියලා , කින්නර පැටවූ එහෙම හැප්පිලා එයාලට අනතුරක් වෙන්න පුළුවන් කියලා . ඉතින් මෙහෙම පැරදිලා පලාගිය ශක්‍රයා යන්නේ මහා බ්‍රහ්මයා හමුවෙන්න . ගිහින් මහා බ්‍රහ්මයාට කියනවා

” පිංවත් මහෝත්තමය , අපි සුර අසුර යුද්ධයෙන් පැරද පලා ගියහ . ඔවුන් හා යුද්ධ කිරීමට අපොහොසත් වූ අපි ඔබවහන්සේ සොයා ආහ ” කියලා .

මේ වෙලාවේ මහා බ්‍රහ්මයා කියනවා මෙන්න මෙහෙම .

” එම්බා දේවේන්ද්‍රය , කිරිමුහුදේ වාසය කරනු ලබන විෂ්ණු දේවරාජයා නුඹලාට යම්කිසි ධ්වජයක් ලබා දෙන්නේ නම් , එම ධ්වජය රැගෙන යුද්ධයට යන තොප සියල්ලෝම දැක අසුරයෝ පලා යති ”

මේ කතාව ඇහුවට පස්සේ ශක්‍රයා තමන්ගේ පිරිවරත් එක්ක යනවා කිරි මුහුදට . ගිහින් විෂ්ණු දෙවියන්ට කියනවා මහා බ්‍රහ්ම තෙමේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා කියලා . ඒ වෙලාවේ විෂ්ණු දෙවියන් තමන්ගේ දිව්‍ය ආනුභාවයෙන් රෝද අටක් තියෙන මැණික් වලින් දිදුළන රථයක සවිකරලා තිබුණු සූර්යාලෝකය වගේ දිදුළන ඒ බලවත් ධ්වජය රථයත් සමගම ශක්‍ර දේවේන්ද්‍රයාට ලබා දෙනවා .

ශක්‍ර දේවේන්ද්‍රයා මේ කොඩිය සහිත රථය අරගෙන විෂ්ණු දෙවියන්ට ස්තූතිවන්ත වෙලා ඒකත් අරගෙන යුද්ධයට ගියා . ගිහින් යුද්ධ භූමියේ මැද මේ ධ්වජය සිටවලා යුද්ධය ආරම්භ කරා . ඒ ආකාරයට තමයි ශක්‍ර දේවේන්ද්‍රයා යුද්ධය ජයග්‍රහණය කරේ .

මේ ධ්වජය ඊට පස්සේ ඉන්දියාවේ පාලනය කරපු වසු කියන රජුට ලබා දුන්නා කියලාත් වැඩිදුර සඳහන් වෙලා තියෙනවා .

ඉතින් මෙන්න මේ විදියේ බලයක් තියෙන ඉන්ද්‍රධ්වජය වගේම තමයි අනිත් ධ්වජයනුත් කියලා වරහාමිහිර ආචාර්යවරයා තමන්ගේ ග්‍රන්ථයේ රජෙකුගේ ධ්වජයේ සිදුවෙන වෙනස්කම් අනුව පලාඵල කියලා තියෙනවා . අද වෙනකොට භාවිතා වෙන්නේ නැති වුණත් ඒ පලාඵල කීම තවමත් ආරක්ෂා වෙලා තියෙනවා .

මම මේ කතාව කිව්වේ අපල වලට කොඩි පූජා කරන්න කිව්වාම ඇයි එහෙම කියන්නේ කියන දේ යම් ප්‍රමාණයකට ඒත්තු ගන්වන්න . කොඩි පූජා කරාම ඒ කොඩියට ලැබෙන වටිනාකම හා සමාන වටිනාකමක් ඒ කොඩියේ හිමිකරුට ලැබෙනවා . ඒවගේම ඒ කොඩියේ හෙවනේ ඉන්න අයගෙන් පිං ලැබෙනවා . ඒවගේම ඒ කොඩියෙන් අවු වැසි සුළං වලින් ආරක්ෂා වෙන අයගෙන් පිං ලැබෙනවා . එතකොට තමන්ට ඒ පිං ලැබිලා අහෝසි වෙන්න පුළුවන් කර්ම ඵල අහෝසි වෙනවා .

ඒ නිසයි කොඩි පූජා කරන්න කියලා කියන්නේ . කොඩි කියන්නේ බැනර් වත් , ප්‍රින්ට් කරපු ලැමිනේට් කරපු A4 කොලවත් නෙවෙයි කියලා මතක තියාගන්න ඕන කියලා කියන්නයි මම මේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය ගැන ලිපියක සටහන් කරේ .

මතක තියාගන්න මේ හැමදේටම වඩා තෙරුවන් ගුණ ඉහළයි . ඒ නිසා තෙරුවන් ගුණ සිහිකරලා වැඩ කරනවානම් හැමදේම සාර්ථක වේවි . අපල දුරු වේවි . ගාථා වලට කරන්න බැරි දේවල් මන්තර වලින් කරනවා වගේම තමයි අපල වලට කරන්න කියන මේ පිළිවෙත් වලිනුත් යමක් කෙරෙන්නේ .

ධජග්ග සූත්‍රය කියවන්න කැමති අයට මම ඒ කොටස ලිපිය අවසානයේ සටහන් කරනවා . කියවලා බලන්න . මේ තමයි අපේ තෙරුවන් වන්දනා කිරීමේ ගාථා ත්‍රිත්වයේ ආරම්භය .

1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි ‘භික්‌ඛවො’ති . භදන්‌තෙ’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3.භූතපුබ්‌බං, භික්‌ඛවෙ, දෙවාසුරසඞ්‌ගාමො සමුපබ්‍යූළ්‌හො අහොසි. අථ ඛො, භික්‌ඛවෙ, සක්‌කො දෙවානමින්‌දො දෙවෙ තාවතිංසෙ ආමන්‌තෙසි ,

‘සචෙ, මාරිසා, දෙවානං සඞ්‌ගාමගතානං උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. මමඤ්‌හි වො ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4.නො චෙ මෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. පජාපතිස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5.නො චෙ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. වරුණස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6.නො චෙ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ ඊසානස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. ඊසානස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සතී ති.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

7.තං ඛො පන, භික්‌ඛවෙ, සක්‌කස්‌ස වා දෙවානමින්‌දස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, පජාපතිස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, වරුණස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, ඊසානස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ [නො පහීයෙථ (ක.)].

තං කිස්‌ස හෙතු? සක්‌කො හි, භික්‌ඛවෙ, දෙවානමින්‌දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරු ඡම්‌භී උත්‍රාසී පලායීති.

7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8.අහඤ්‌ච ඛො, භික්‌ඛවෙ, එවං වදාමි

සචෙ තුම්‌හාකං, භික්‌ඛවෙ, අරඤ්‌ඤගතානං වා රුක්‌ඛමූලගතානං වා සුඤ්‌ඤාගාරගතානං වා උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ අනුස්‌සරෙය්‍යාථ

ඉතිපි සො භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධො විජ්‌ජාචරණසම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිසදම්‌මසාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවා’ති. මමඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

9.නො චෙ මං අනුස්‌සරෙය්‍යාථ, අථ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ

ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො සන්‌දිට්‌ඨිකො අකාලිකො එහිපස්‌සිකො ඔපනෙය්‍යිකො පච්‌චත්‌තං වෙදිතබ්‌බො විඤ්‌ඤූහී’ති. ධම්‌මඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්‍මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

10.නො චෙ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ, අථ සඞ්‌ඝං අනුස්‌සරෙය්‍යාථ

සුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො උජුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො ඤායප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො සාමීචිප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, යදිදං චත්‌තාරි පුරිසයුගානි අට්‌ඨ පුරිසපුග්‌ගලා එස භගවතො සාවකසඞ්‌ඝො, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්‌ඛිණෙය්‍යො අඤ්‌ජලිකරණීයො අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලොකස්‌සා’ති. සඞ්‌ඝඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

10. ´´ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

11. තං කිස්‌ස හෙතු? තථාගතො හි, භික්‌ඛවෙ, අරහං සම්‌මාසම්‌බුද්‌ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී’ති.

11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´

12.ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –

අරඤ්‌ඤෙ රුක්‌ඛමූලෙ වා, සුඤ්‌ඤාගාරෙව භික්‌ඛවො;

අනුස්‌සරෙය්‍යාථ සම්‌බුද්‌ධං, භයං තුම්‌හාක නො සියා.

නො චෙ බුද්‌ධං සරෙය්‍යාථ, ලොකජෙට්‌ඨං නරාසභං

අථ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං.

නො චෙ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං

අථ සඞ්‌ඝං සරෙය්‍යාථ, පුඤ්‌ඤක්‌ඛෙත්‌තං අනුත්‌තරං.

එවං බුද්‌ධං සරන්‌තානං, ධම්‌මං සඞ්‌ඝඤ්‌ච භික්‌ඛවො;

භයං වා ඡම්‌භිතත්‌තං වා, ලොමහංසො න හෙස්‌සතී”ති.

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.

´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්‍ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.

´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්‍මය සිහි කරව්.

´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්‍මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.

´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්‍මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´

ධජග්ග සූත්‍රය නිමි.

ධජග්ග සූත්‍රය ගත්තේ මෙතැනින්

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන
  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .
  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන්
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *