vaastu වාස්තුජ්‍යෝතිෂ විද්‍යාව

ළිඳක් වැසීම හා වැනසීම

 

වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නපුර පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ අපි ඉන්න නිවස පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුමේ . අපි ඉන්නේ කන්දේ උතුරු බෑවුමේ . සමන් දේවාලය පිහිටලා තියෙන්නේ කන්දේ වයඹ බෑවුමට ආසන්න වෙන්න පහළම කොටසේ . මේ කන්ද හරහා සමන් දේවාලයේ ඉඳලා පොත්ගුල් විහාරය දක්වා විහිදිලා තියෙන උමගක් තියෙනවා කියලා කතාවක් තියෙනවා . මේ උමග ගිලා බැසීම හේතු කරගෙන ඒ ආශ්‍රිත නාය යෑමක් තියෙනවා කියලා ඉස්සර ඉඳලාම කියනවා . ළඟදීම නාය යයි කියලා තමයි හිතන්නේ . මොකද දැන් ගිලා බැසීම් ගොඩක් තියෙන නිසා . පස මතුපිට මුල් පද්ද්ධතිය දුර්වල වෙන්න වෙන්න පස් ගිලා බහිනවා . දැන් ඉතින් ලොකු ගස් වලට වඩා තේ ගස් සහ තේ වලින් ලැබෙන සල්ලිනෙ වටින්නේ .

ඉතින් මේ කන්දේ අපි ඉන්න බෑවුමේ මුල් පදිංචිකාරයින් වුණේ අපේ සීයලා . සීයා සහ තවත් කීප දෙනෙක් මේ ප්‍රදේශයේ එලි පෙහෙළි කරලා ගෙවල් හදාගෙන පදිංචි වුණා . ඉතින් ආච්චි අම්මාත් රත්නපුරේට ආවට පස්සේ ආච්චිඅම්මාගේ ප්‍රධානම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ගෙදර ලිඳක් හාරගන්නා එක . එතකල් වතුර ලබාගෙන තියෙන්නේ කිට්ටුව ඇලකින් . ඒ වෙනකොට, මම ඉතාම ගෞරවයෙන් සලකන අපේ මුත්තා , ඒ කියන්නේ ආච්චිඅම්මාගේ තාත්තාත් ජීවත් වෙලා ඉඳලා තියෙනවා . ඒ මුත්තට ඒ වෙනකොට මාතර ඉඳලා රත්නපුරේට එන්න පුළුවන් හොඳ සෞඛ්‍ය තත්වයක් තිබිලා නැහැ . ඒත් එයාගේ දැනුමේ අඩුවක් වෙලා තිබිලා නැහැ .

ඒ මුත්තා ආච්චි අම්මාට කියලාදීලා තියෙනවා පොළවක වතුර ගමන් කරන ජල ශිරා විහිදිලා තියෙන පැති අඳුරගන්නා විදි සහ ඒ ජල ශිරා තියෙන ස්ථාන පොලව මතුපිට තියෙන සලකුණු වලින් අඳුරගන්නා විදිය . ඒ අනුව යමින් ආච්චි අම්මා අපේ ගමේ හැමෝටම වතුර දෙන්න ළිඳක් හාරලා තියෙනවා තනියමම . තමන්ට වඩා තරමක් උසට හාරගත්තාට පස්සේ පස් ඉවත් කරන්න විතරක් වෙනත් අයගේ උදවු ගත්තත් වෙන අය ළිඳ හාරනවට කැමති නැතිව ආච්චිඅම්මා තමන්ම ඒ ළිඳ හාරලා තියෙනවා . අවසානයේ තමන්ට වඩා අඩි කීපයක් හාරනකොට ළිඳේ ජල ශිරා මතුවෙලා තියෙනවා . ඒ ළිඳ තමයි අපේ ගමේ පළවෙනි ළිඳ වුනේ . මොකද ඒ වෙනකල් කවුරුවත් විශ්වාස කරලා නැහැ කඳු ප්‍රදේශයක් නිසා ඒ ප්‍රදේශයේ වතුර උල්පත් අහුවෙයි කියලා . ඒත් කන්ද පහළ තියෙන්නේ කළු ගඟ නිසාත් ගඟ පැත්තට වතුර බහින නිසාත් මේ පැත්තේ වතුර හම්බෙනවා කියලා ආච්චිඅම්මාට විශ්වාසයක් තිබිලා තියෙනවා .

මේ සලකුණු අනුව ආච්චි අම්මා අපේ ඉඩමේ තවත් ළිඳක් හෑරුවා . ඒකත් වතුර තියෙන ලිඳක් . හැබැයි පායන කාලෙට ඒ ළිඳ නම් හිඳෙනවා . එත් පළවෙනි ළිඳ නම් තවමත් වතුර තියෙනවා . ඒ විදියට ළිඳ හාරන කාලේ කරපු වත් පිළිවෙත් ගැන ආච්චි අම්මා දවසක් මමත් එක්ක කිව්වා මතකයි . ළිඳේ ඉස්සෙල්ලම වතුර උල්පත් වලින් ආව වතුර කලයකට එකතු කරගෙන ඒ වතුරෙන් බෝධිය නාවලා දෙවියන්ට පිං දීලා කිරි ආහාර පූජා කරලා තියෙනවා . ඒවගේම තමයි හැම අවුරුද්දකම වතුර කලයක් අරගෙන ගිහින් බෝධිය නාවන සිරිතක් ආච්චිඅම්මට තිබුණා .

පළවෙනි ළිඳේ වතුර උනන්න කලින් දවසේ ආච්චිඅම්මා හීනයක් දැකලා තිබුණා . ආච්චිඅම්මා දැක්ක හීනයේ ජීවමාන බුදුන්වහන්සේ නමක් ඉඳලා තියෙනවා . ඒ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන විදියට ළිඳ ඇතුලේ පුටුවක ඉඳගෙන තමයි වැඩ ඉඳලා තියෙන්නේ . එකපාරටම බුදුන්වහන්සේගේ ධර්ම දේශනාව නතරවෙලා නහයෙන් කටෙන් කන්වලින් පවා වතුර විහිදවනවා ආච්චි අම්මා හීනෙන් දැකලා තියෙනවා . පහුවෙනිදා මේ හීනය ගැන කා එක්කවත් කියන්නේ නැතුව ළිඳ හාරන්න ගත්තට පස්සේ අහස කළු කරලා වහින්න ලං වෙලා තියෙනවා .

එත් හවස් වෙලා නැති නිසා පුළුවන් තරම් හාරනවා කියලා හිතාගෙන ආච්චි අම්මා ළිඳ හාරන වැඩ කරගෙන යනකොට ආච්චිඅම්මාගේ පුතා , ඒ කියන්නේ මගේ මාමා දුවගෙන ඇවිත් කියලා තියෙනවා ගොරවන්න හදන්නේ ගොඩට එන්න කියලා . ඒ කියනවත් එක්කම අහසේ අකුණක් පුපුරලා තියෙනවා . ඊට පස්සේ ගහපු උදළු පාරවල් කීපයෙන් ජල ශිරාව පුපුරලා වතුර ගලාගෙන ඇවිත් තියෙනවා ළිඳට . මේ කතාව ඊට පස්සේ අවුරුදු ගානක් ගිහින් තමයි ආච්චිඅම්මා අනිත් අයට කියලා තිබුණේ .

මේ ළිඳේ වතුර රැඳීම ආරක්ෂා කරගන්න ඕන නිසා ආච්චිඅම්මා යම් උපායශීලී වැඩ කීපයක් අපේ ගෙදර කරලා තිබුණා . එකක් තමයි ඒ ළිඳට උඩ කොටසේ ලොකු උන පඳුරක් වගා කිරීම .ඒ ආසන්නයේ කළුගල් වලක් වගේ පිහිටලා තියෙන නිසා උන පඳුරට වතුරත් ඒ වලේ වතුර එකතුවෙන් ලැබුනා . උන පඳුරේ මුල් නිසා ස්පොන්ජ් වගේ ව්‍යුහයක් ගත්ත පසෙන් වතුර රඳවා තියාගෙන ළිඳ පෝෂණය කරා . පුරසාරමක් විදියට නොවුනත් ආච්චි අම්මා නිතරම මතක් කරේ මේ ළිං දෙක දෙවියන්ගේ පිහිටෙන් ලබා දුන්න දෙයක් . ඒ නිසා ළිං පරෙස්සම් කරන්න කියලා .

එදා කිව්ව දේවල්වල ඇත්ත දැන් දැන් පේන බවක් තියෙනවා . මොකද රත්නපුරේ මිනිස්සුන්ගේ පුරුද්දක්නේ පොළව හාරන එක ඒ නිසා , අපිත් ආතල් එකට වගේ තවත් ළිඳක් හෑරුවා . ඒ ළිඳ වැඩිය ගැඹුරු එකක් නෙවෙයි . ඒත් දෙවියන්ගේ පිහිටෙන් ඒකටත් වතුර ඉනුවා අඩි දහයක් විතර හාරනකොට . ඒ ළිඳ අලුත් නිසා අපි දැන් පාවිච්චි කරන්නේ ඒ ළිඳ . ළඟදී දවසක නොසිතුවිරු විදියට ළිඳේ වතුර හිඳුනා . ඒත් ආච්චිඅම්මා හාරලා තියපු ළිං දෙකේ වතුර තිබුණා . එකම ඉඩම වුණත් වතුර රඳා හිටින්නේ ළිඳ හාරපු කෙනාගේ වාසනාව මත කියලා අපේ ගෙදර අය කතා වුණා .

මට මතකයි මඝ මානවකයා සක්‍රත්වය ලබාගන්න කරපු පිං දහම් වලදීත් ළිං හාරපු බවක් සඳහන් වෙලා තිබුණා කියලා . ඒ නිසා ලිඳක් කියලා කියන්නේ ඇත්තටම ඉතාම වටිනා දෙයක් කියලා මතක තියාගන්න ඕන . මේ කතා කියන්න මට මතක් වුණේ ලිඳක් වහන්න නැකතක් ඉල්ලලා කෙනෙක් කතා කරපු නිසා . මම ඒ සටහන ලියන්න පටන් ගත්තේ ලිඳක් වහනවා කියන්නේ මහා පවුකාර වැඩක් කියලා ලියාගෙන . මොකද අතීතයේ සෘෂිවරු ළිං හැරීම කියන දේ කරලා තියෙන්නේ ඉතාම ගෞරවයෙන් . මොකද ජීවය පවතින්නේ ජලය නිසා . ජලය පවතින්නේ ළිඳ නිසා . ඒ නිසා ළිඳක් කියන්නේ රත්තරන් වටිනා දෙයක් කියලා ඒ කාලේ උදවිය විශ්වාස කරා .

අද කාලේ නම් වතුර එන්නේ ටැප් වලින් . ක්ලෝරීන් කලවම් කරලා එන වතුර නිසා එක එක ප්‍රශ්න තියෙනවා . කියන්නේ නැති වුණත් ක්ලෝරීන් ශරීරයට විෂ වෙනවා . සමට විෂ වෙනවා . ඒවගේම තමයි ඇස්වලට අසාද්මිකතාවයන් ඇති කරවනවා . ඊටත් වඩා ගැටළුව වෙන්නේ හිසකෙස් ගැළවී යාමට හේතු වීම .

ඒත් අතීතයේදී වතුර පිරිසිදු කරන්න පාවිච්චි කරලා තියෙන්නේ බෙහෙත් වර්ග . ඒවා ශරීරයට අහිතකර වෙන්නේ නැහැ . ඒ නිසා කිසිම ගැටළුවක් ඇතිවෙලා නැහැ .ඒ නිසා අද අපි ඉන්නේ දියුණු තත්වයක කියලා කිව්වාට අපි ඉන්නේ දියුණු තත්වයක නෙවෙයි කියලා මතක තියාගන්න ඕන .

පාවිච්චි කරපු ලිඳක් වහනවානම් ඒ ළිඳ වහන්න ඕන ඒ ළිඳේ තියෙන ජල ශිරා අවහිර වෙන්නේ නැති වෙන විදියට . මොකද ලිඳක් හාරලා අපි කරන්නේ පොළවේ තියෙන නහරයක් කපලා ලේ ගන්නවා වගේ වැඩක් . ආයෙත් ඒ නහරය හරියට අග මුල සම්බන්ධ වෙන්න ලේසි වෙන විදියට තමයි ළිඳ වහන්න ඕන . මේ ක්‍රියාමාර්ගය හරියට කරන්න ඒකාලේ අය සමත් වෙලා තියෙනවා . ඒවගේම තමයි ජලය ගමන් කරන ශිරාවේ ජල ගමන අඩු වෙලාවක තමයි ළිඳ වහන්න ඕන . ඒ ජල ගමන අඩු වෙලාවල් තමයි නැකත් වලදී හොයලා බලන්නේ . මොකද එහෙම වතුර ගමන් කරන පීඩනය අඩු වෙලාවට ළිඳ වහන්න ලේසියි , සහ අපිරිසුදු වතුර වෙනත් ළිං වලට ඉක්මණට යන්නෙත් නැහැ .

එයාලා ළිඳේ වතුරේ පිරිසිදු භාවය තමයි ඉස්සෙල්ලම බලලා තියෙන්නේ ලිඳක් වහන්න කලින් . ඒ නිසා ලිඳක් වහන්න කළු ගල් කැබලි , ගඟේ වැලි කියන දේවල් තමයි භාවිතා කරන්නේ . අද තියෙන ගංගා නෙවෙයි . ඉස්සර තිබ්බ ගංගාවල වැලි පිරිසිදුයි . මොකද හැමවෙලේම හේදෙන නිසාත් ගඟේ කුණු නැති නිසාත් . ඒවගේම තමයි ඒ මාධ්‍යයේ සවිවර බව ආරක්ෂා වෙන්න ඕන නිසා කළුගල් කැබලි එකතු කරනවා .

වතුර මට්ටම වැහෙනකල්ම ළිඳට දාන්නේ කළුගල් කැබලි සහ වැලි . ඒ නිසා ළිඳ තුලට සහ ළිඳෙන් පිටට තියෙන ජල ශිරා සම්බන්ධ වෙලා අපිට එපා වුණත් වතුර ඕන ළිං වලට අවහිර වීමක් නැතුව ජලය ගලාගෙන යෑම වෙනවා . ඊට පස්සේ පිරිසිදු පස් වලින් තමයි ළිඳ වහන්නේ . මොකද ජල ශිරා ආරක්ෂා කරා වගේම ඒ ජලයේ පිරිසිදු බවත් ආරක්ෂා කරන්න මිනිස්සු හිතලා තියෙන නිසා .

එහෙම ලිඳක් වැහුවම වෙනත් ළිං වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ . ඒවගේම මෙන්න මේ පිළිවෙත් එහෙමත් අනුගමනය කරනවානම තමයි හොඳ .

ජලය අයිති වෙන්නේ වරුණ දෙවියන්ට . ඒ නිසා වරුණ දෙවියන්ට පිං දීම සහ පූජා පැවැත්වීම කරන්න ඕන . ඒවගේම තමයි විෂ්ණු දෙවියන්ට පිං දෙන්න ඕන . ඊටත් අමතරව ජලයේ හිමිකාරීත්වය හිමි වෙන්නේ සඳුට . ඒ නිසා සඳු වෙනුවෙන් පූජා පැවැත්වීම සහ පිං දීමත් කරන්න අවශ්‍ය වෙනවා .

චන්ද්‍රයාගේ ගමන ජලය ජලශිරා වලින් ඇදී එන්න ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක් . පොළව මතුපිට උදම් ඇතිවෙනවා වගේම තමයි පොලව තුලත් ජලයේ ඇදීම සිද්ද වෙන්නේ . ඒ නිසා සඳු සහ භූගත ජලය අතර තියෙන්නේ තද බැඳීමක් . ඒ නිසා පිං දීලා අවසර ගන්න ඕන ළිඳ වහන්න .

ළිඳේ වතුරෙන් බෝධිය නාවන්න ඕන . එහෙම බෝධිය නාවලා ළිඳ හාරපු අයටත් දෙවියන්ටත් පිං දෙන්න ඕන . ඒවගේම තමයි ළිඳ වහන්න කලින් ළිඳේ වතුරට මෙන්න මේ බෙහෙත් වර්ග එකතු කරන්න පුළුවන් නම් හොඳයි .

සුවඳ හොට

වම්මුතු

විෂ්ණු ක්‍රාන්ති

සුදුහඳුන්

රත් හඳුන්

නෙල්ලි

ඉඟිනි

මේ දේවල් පොඩියට කුඩු කරලා වතුරට දාලා හොඳට මිශ්‍ර වුණාට පස්සේ ළිඳ වහන්න ඕන . නැත්නම් අපිරිසිදුවෙන ජලයෙන් වෙනත් ළිං අපවිත්‍ර වෙන්න පුළුවන් . තවත් පිළිවෙත් කීපයක් තියෙනවා . ඒවාත් කරලා තමයි ඉතින් වැඩේ සම්පූර්ණ කරන්න ඕන .

අද කාලේ මේ පිළිවෙත් සපුරලා නෙවෙයි ළිං වහන්නේ . ඉස්සෙල්ලාම පටන් ගන්නේ ගෙදර කුණු දාන්න . කුණු දාලා තියෙන තියෙන ලට්ට ලොට්ටත් දාලා . පුළුවන් නම් වැසිකිලි නළයත් ළිඳට හරවලා එහෙමත් පුරවලා තමයි ළිඳ වහලා දාන්නේ . එත් තමන් ඒ කරන්නේ වෙනත් අය වතුර බොන ජල ශිරා සම්බන්ධ තැනකට බව මතක තියාගන්න . අද මිනිස්සු වෙනස් . ඒ නිසා අනිත් අය ගැන හිතන්නේ නැහැ . ඒ වගේම පරිසරය ගැන හිතන්නෙත් නැහැ . තමන්ගේ වැඩේ වෙනවානම් හොඳයි කියලා හිතාගෙන ඒ දේවල් කරනවා . ඒ නිසා මේ වගේ දේවල් ගැන තරමක් විමසිල්ලෙන් හිතලා බලන්න . මේ වගේ කරන අකුසල කර්ම සහ අනවබෝධය නිසා තමයි සමහරුන් කඳු යට ළිං හෑරුවත් අනෝරා වැසි වැස්සත් ලිංවල වතුර නොපිරෙන්නේ .

භූගත ජල සම්පත ආරක්ෂා කරගන්න . තමන්ට එපා නම් අනුන්ටවත් ආරක්ෂා කරලා දෙන්න . භූගත ජලය සම්බන්ධව තවත් ලියන්න තියෙනවා . ඒ නිසා තවත් ලිපි කීපයක් භූගත ජලය සම්බන්ධව ලියවේවි .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන
  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .
  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන්
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *